Monday, November 15, 2010

If Mervin was there in the Dutugemunu era | මර්වින් සිල්වා දුටුගැමුණු යුගයේ සිටියානම්...




වැඩක් නැතුව නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට නිකන් කල්පනා කර කර ඉන්න ගියාම මිනිස්සුන්ට එක එක දේවල් හිතෙනවා. සමහරු දවල් හීන දකිනව, සමහරු තමන්ගේ අතීතය ගැන තමන්ට වෙච්ච රසවත් සිද්ධි ගැන මතක් කරනව. ඔය අතරේ සමහරුන්ට එක එක විකාර සිතුවිලිත් පහල වෙනවා. හරියට "ඒ දේවල් එහෙම වුණේ නැතුව මෙහෙම වුණ නම් කොහොමද" වගේ දේවල්. මේ තියෙන්නෙ මට එහෙම හිතුනු දේවල් කීපයක්. 

මර්වින් සිල්වා දුටුගැමුණු රජතුමාගේ  යුගයේ සිටියානම්...
ආයිත් අහන්න දෙයක් නෑ, මර්වින් සිල්වා මහත්තයාට රාජ සභාවේ වැදගත්ම ඇමතිධුරයක් හිමි වෙනවා සිකුරුයි. මොකද ඉතින් සීයා මුණුපුරාට සලකන්නේ නැතුව වෙන කාට සලකන්නද? අද වගේ නෙවෙයි ඒ කාලේ තමන්ගේ පවුලේ උදවියට සලකන එක, ඉහල තනතුරු තානාන්තර දීල ඥාති සංග්‍රහ පවත්වන එක ඒ කාලේ ලංකාවේ ප්‍රභූන අතර තිබුණු සිරිතක්. ඉතින් මර්වින් සිල්වා ඇමති කෙනෙක් වෙන එක අහන්නත් දෙයක් නෑ. මට නම් හිතෙන්නේ මර්වින් සිල්වා ඇමතිතුමාට දුටුගැමුණු රාජ සභාවේ වාණිජ ඇමති ධූරය හරි රාජ්‍ය භාණ්ඩාගාරය භාර ඇමති තනතුර හරි ලැබෙන්න තිබුණා. මොකද ඥාතියා හින්ඳා විශ්වාසවන්තයි, ඒක එකක්. දෙවෙනි කාරණේ යුද්ධෙ ඉවර වෙලා ඔය රුවන්වැලි සෑය එහෙම හදන කාලේ දුටුගැමුණු රජතුමාට හරියට වියදම් නේ. ඉතින් ඒ වගේ කාලේක මර්වින් සිල්වා භාන්ඩාගාරික ඇමති වුණොත් රජතුමාට ඒකෙ වාසියකුත් තියෙනවා. මොකද (අද කාලේ වගේම) ඒ කාලෙත් වෙලෙන්දෝ , සිටුවරු එහෙම කැමත්තෙන්ම ඇවිල්ල මාසෙකට සැරයක් රාජ්‍ය භාණ්ඩාගාරෙට (හරි මර්වින් සිල්වාට හරි) කහවණු ගණන් දීල යන්න තිබුණා.

දුටුගැමුණු රජතුමාගේ සේනාවේ මර්වින් සිල්වා ඇමතිතුමා හිටියා නම්...
කලින් මට හිතුනේ මර්වින් ඇමතිතුමා දුටුගැමුණු රාජසභාවේ හිටියනම් වෙන දේවල්. පස්සෙ හිතුනා ඇයි රාජසභාවේ විතරක්. මර්වින් ඇමතිතුමාට දුටුගැමුණු රජතුමාගේ සේනාවේ සෙනෙවි කම දීලා යුද්දෙට යන්නත්  තිබුණනේ. එහෙම වුණානම් දුටුගැමුණු රජතුමා විජිතපුර බලකොටුව අල්ලන්න එන ආරංචියට (ඇත්තටම කිව්වොත් මර්වින් සිල්වා එන ආරංචියට) එළාර රජතුමා තමන් විහින්ම කණුවක ගැට ගහ ගන්න ඉඩ තිබුණා. (තනියම බැරි නම් තමන්ගේ පුරෝහිතගේ හරි සහය ගන්න තිබුනණේ, ඕවා තනියම කරගන්න පුලුවන්ද බැරිද කියල හිතන්න ඕනේ නෑ) එහෙම කරලා පුස් කොල පොතක හරි සෙල් ලිපියක හරි ලියන්න ඉඩ තිබුණා, මම මෙහෙම කරේ දුටුගැමුණු රජතුමාට (ඇත්තටම මර්වින් සිල්වට) බයේ නෙවෙයි මට එහෙම කරගන්න ඕනේ කියලා හිතුන හින්දා කියලා.

2004 මහමැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනුවානම්...
එහෙනම් සටන් විරාමය දිගටම තියෙන්න ඉඩ තිබුණා. සටන් විරාමය ප්‍රයෝජනයට අරන් කොටි සාම ගීත ගයන්න ඉඩ තිබුණා. අපරාදේ සාම සාකච්ඡා වලට ස්විර්සර්ලන්තයේ ගියපු අතරවාරයේ ලස්සන චිත්‍රපට ගීත ජවනිකා දෙක තුනකුත් රූපගත කරන්න තිබුණා. ප්‍රභාකරන් මල්වත්තක නට නටා එනවා (සින්දුවකුත් කියන ගමන්) රනිල් මහත්තයා එකපාරටම මල් පඳුරක් පිටිපස්සේ හැංඟිලා ඉඳලා එලියට පනිනවා. එතනින් පස්සේ දෙන්නම සින්දුව කිය කිය නටනවා. (මේක අනිත් පැත්තට වුණත් අවුලක් නෑ. රනිල් සිංදු කියකිය එද්දි ප්‍රභාකරන් පැන්නත් ප්‍රශ්ණයක් නෑ. අයියයි මල්ලියි වගේනේ). සිංදුවේ ඊලඟ රූපරාමුව විදියට රනිලුයි ප්‍රභාකරනුයි ඩබල් ඩෙකර් බස් එකක (උඩ තට්ටුවේ වහල නැති. ඒ වගේ බස් දැකලා ඇතිනේ, ඔය "Colombo city tour" ද කොහෙද කියල එකකුත් මේ දවස් වල යන්නේ) නැඟලා සිංඳුව කිය කිය යනවා දාන්න තිබුණා. රවී, ජයලත්, තිස්ස අත්තනායක, ඇන්ටන් බාලසිංහම්, සුසෙයි, තමිල් සෙල්වන් කට්ටියටත් සහය ගායනය දෙන ගමන් නටන්න තිබුණා.

සටන් විරාමය දිගටම තිබුණා නම්...
එහෙනම් කොටිය පූස් පැටියෙක් වෙන හැටි බලන්න තිබුණා. (පරිණාම වාදය අනිත් පැත්තට ගමන් කිරීම) එහෙම වුණා නම් යුද්ධෙ ඉවර කරලා මහින්ද රාජපක්ෂටයි, ගෝඨාභය රාජපක්ෂටයි වීරයො වෙන්න ලැබෙන්නෙත් නෑ. අපරාදේ වැරදිලා හරි එහෙම වුණා නම් රනිල් මහත්තයට JVP කොල්ලොත් එක්ක එකට ජනාධිපතිවරණ කරන්න වෙන්නෙත් නෑ. වෙන කවුරු එක්ක ඡන්ද කරත් JVP කාරයොත් එක්ක ඡන්ද කරන්න පුලුවන්ද? ඇරත් රනිල් මහත්තය වගේ කෙනෙකුට? ඔන්න චන්ද්‍රිකා වගේ වුණානම් කමක් නෑ. ආ.. තව එකක්, සටන් විරාමේ දිගටම තිබුණා නම් අද "සරත් ෆොන්සේකා නිදහස් කරව්" කියලා කෑ ගහ ගහ උද්ඝෝෂණය කරන්න වෙන්නෙත් නැහැ. ඔය සරත් ෆොන්සේකා නිදහස් කරන්න, ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා කියල රනිල් මහත්තය ඉඳලා හිටලා කිව්වත්, ඒ හිතකින් කියන දේවල් නෙවෙයිලුනේ (අනේ මම නම් ඕවයෙ ඇත්ත නැත්ත දන්නේ නෑ) වැරදිලාවත් සරත් ෆොන්සේකා නිදහස් වෙලා විපක්ෂනායක කමවත් ඉල්ලුවොත් කියලා හිතෙනවා ඇති.

සටන් විරාමය අතරෙදි කොටියා පොඩ්ඩක් හරි "නෝටි" වෙලා සාම සාකච්ඡා වලින් අයින් වෙන්න හැදුවානම්...
එහෙනම් ජාත්‍යන්තර බලවේග රනිල් මහත්තයගේ උදව්වට දුවගෙන එනවා බලන්න තිබුණා. හරියට සුපර් මෑනුයි, බැට් මෑනුයි ස්පයිඩර් මෑනුයි සේරම එකට ආවා වගේ.. ඊට පස්සේ සේරම ජාත්‍යන්තර බලවේග එකතුවෙලා කොටින්ට ගහන හැටි බලාගන්න තිබුණා. මල්ටි බැරල්, කාල තුවක්කු සහ කුරුම්බැට්ටි මැෂින් නෙවෙයි, නියම face-to-face ෆයිට් එකක් බලා ගන්න පුලුවන්. අර දකුණු ඉන්දියානු චිත්‍රපට වල වගේ, කොටියට මුලතිව් වලදි ගැහුවම උඩින් විසි වෙලා ගිහිල්ල කිලිනොච්චියේ පෙට්ටි කඩේක වහල කඩාගෙන බිමට වැටෙන්නේ.. අන්න ඒ වගේ. නැත්නම්, කොටියා පෙනේරයක් වගේ වෙනකන් වෙඩි තියලා, කුඩු කරලා, ප්‍රිමා කොම්පැණියේ මෝලට දාලා පිටි කරලා ගන්න හැටි බලන්න තිබුණා. ඒ කොහොම වෙතත් ජාත්‍යන්තර බලවේග එනකන් රනිල් මහත්තය නිකන් බලන් ඉඳියි කියල හිතුවද? අනික කොහොමත් ජාත්‍ය්න්තර බල්වේග හිටියේ කොටින්ට පැනල යන්න බැරි වෙන්න දැල් දාන්නනේ. ගහන ටික රනිල් මහත්තයටම බලාගන්න තිබුණා. අර එක පාරක් හට්ටි, මුට්ටි වගයක් පොලවේ ගැහුවා වගේ ප්‍රභාකරන්වත් අල්ලලා පොලවේ ගහන හැටි සොල්හයිම්ටත් ඇවිල්ල බලාගෙන ඉඳලා යන්න තමයි වෙන්නේ.

පෘතුගීසි ලංකාවට එනකාලේ විමල් වීරවංශ ඇමතිතුමා හිටියා නම්...
එහෙනම්, "මේක ඇමරිකාව ගෙන යන ගෝලීය අධිරාජ්‍යවාදයේ තවත් එක් පියවරක්" කියලා විමල් වීරවංශ මැතිතුමා කෝට්ටේ රාජ සභාවෙදි කියන එක කියනවා ආයිත් දෙකක් නෑ. (ඒ කාලේ ඇමරිකාව තිබුණද නැද්ද කියල මෙතනට අදාල නෑ). තව, "මේ පෘතුගාලය කියන ඇමරිකන් බළල් අතේ, ලොරෙන්සෝ ද අල්මේදා කියන අධිරාජ්‍යවාදී සුදු ඒජන්තවරයා ලංකාවේ ස්වෛරීත්වයට එල්ල කරන බලපෑම" ට විරෝධය දක්වන්න කොළඹ පෘතුගීසි බලකොටුව ඉස්සරහා මාරාන්තික උපවාසයක් පවත්වන්න ඉඩ තිබුණා. අටවැනි පරාක්‍රමභාහු රජතුමා ඇවිත් වතුර එක පොවනකන්, ලෙමන් පෆ් (වැරදුනා කැවුම් හරි අග්ගලා හරි) කකා උපවාස කරනවා මම අහන්නේ හිතක් පපුවක් තියෙන පෘතුගීසි කාරෙයෙකුටවත් බලන් ඉන්න පුලුවන්ද? කවුද දන්නේ? සමහරවිට ඒ උපවාසෙට බය වෙලා පෘතුගීසි කාරයෝ ලංකාවෙන් යන්නත් ඉඩ තිබුණා. එහෙනම් ලංකාවේ ඉතිහාසෙම වෙනස් කරපු වීරයෙක් හැටියට විමල් වීරවංශ ඇමතිතුමාගෙ නම ඉතිහාස පොතේ රන් අකුරින් සටහන් වෙනවා. ඔන්න දැන් කියන්න එපා එතුමා වීරයෙක් නෙවෙයි කියලා මම කිව්ව කියලා. එතුමා කොහොමත් විරයෙක් තමයි. නැතුව සුලුපටු කෙනෙකුට පුලුවන්ද (ඇමතිකමත් එපා කියන ගමන්) දවස් ගාණක් නොකා නොබී ඉන්න? අපෝ මට නම් බෑ. ඒක හින්දා මටනම් එතුමා සැබෑ වීරයෙක්.

ඇමරිකාවෙන් හඳට ගියේ මේ කාලේ වුණානම්...
”මෙය එක් මිනිසෙකුගේ කුඩා පියවරක් නෙවෙයි, ඇමරිකාවත් ලංකාවත් අතර වර්ධනය කරගත් විදේශ සම්බන්ධතා වල ජයග්‍රහණයක්” කියලා බැරක් ඔබාමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සුභ පැතුම් පණිවිඩයක් එවන්න ඉඩ තිබුණා. "ජනාධිපති මහින්ද දැක්වූ සහයෝගය නොවන්නට ඇමරිකාවට මෙවන් ජයග්‍රහණයක් ලබන්නට හැකියාවක් නැතැයි ජනතාවෝ අවධාරණය කරති" කියලා ITN ප්‍රවෘත්ති වලට කියනවා සහතිකයි. ඒ විතරක් නෙවෙයි ප්‍රවෘත්ති වලින් පස්සේ මහින්ද අබේසුන්දරත් ඒ කතාවම කියයි. "ඇමරිකාව කලේ බොරුවක්, හඳපානාගලට ගිහිල්ල හඳට ගියා කියලා කියනවා" කියලා රවී කරුණානයක මන්ත්‍රී තුමා කියන්නත් බැරිකමක් නෑ. "මේක ලංකාවේ බඩු මිල වැඩි වෙන එක ජනතාවට අමතක කරවන්න ආණ්ඩුවෙන් ඇමරිකන් රජයට සල්ලි ගෙවලා කරවපු වැඩක්, දැන් ජනතාව බුද්ධිමත්. ආණ්ඩුවේ මේ උපායන් වලට රැවටෙන්නේ නැහැ" කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රී තුමා කියන්න ඉඩ  තිබුනා.

දයාසිරි ජයසේකර මෙගා ස්ටාර් වුණානම්...
එහෙනම් පබා ආපහු විපක්ෂයට එන්න ඉඩ තිබුණා. වෙන මොකවත් හින්දා නෙවෙයි, දැන් ආණ්ඩුවට මෙගා ස්ටාර් කෙනෙක්වත් පත් කරගන්න බෑ කියලා තෙරුම් ගත්තු හින්දා. මර්වින් සිල්වා වේදිකාවට ඇවිත් දයාසිරිව බදාගෙන "ඔයා මගේ සහෝදරයෙක් වගේ, හැබෑටම පුංචි කාලේ නැතිවුණු මගේ නිවුන් සහෝදරයද දන්නෙ නෑ.. ඔයාට යන්තම් හරි මතකද ඒ කාලෙ පබාගෙන් කු## බිව්ව බවක් එහෙම? මොකද ඔයා මගේ නිවුන් සහෝදරයනම් ඒ බව මතක තියෙන්නෙ ඕනේ" කියලා කියන්න ඉඩ තිබුණා. ඔය අතරේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා දුරකථනයෙන් කථා කරලා දයාසිරිට සුභ පතලා "දයාසිරි, දැන් රටට වගේම පක්ෂයට අවශ්‍ය කරන්නේ ජනප්‍රිය තරුණ නායකත්වයක්, ඒක හින්දා ඔයා හෙට ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගන්න, ප්ලීස්" කියලා කියන්න ඉඩ තිබුණා.

Sunday, November 14, 2010

Porn Stars | "පෝ(ර්)න්" තාරකා





සිරස සුපර් ස්ටාර්, දෙරන ඩ්‍රීම් ස්ටාර්, මයින්ඩ් ස්ටාර් සහ මෑතකදී මහා ගුටි කෙලියකින් අවසන් වූ ස්වර්නවාහිණී මෙගා ස්ටාර් මෙන්ම මෙකී නොකී අනෙක් සියලුම ස්ටාර් වලින් "තරු" සිහිනයක අතරමංව සිටින ශ්‍රී ලාංකීය ජනතාවට මිට සති දෙක තුනක පටන් තවත් "ස්ටාර්" පිරිසක් පිලිබඳව අසන්නට ලැබුනේය. එහෙත් ඒ වෙනදාමෙන් කොහෙන් හෝ පැමිනෙණ තරුණයෙකු/තරුණියකගේ පිහිටෙන් තම මඩිය තර කර ගැනීමට බලා සිටිනා මාධ්‍ය නාලිකා වලින් නොවේ. එමෙන්ම එම තාරකාද මාධ්‍ය නාලිකා වලින් හීලියම් ගසා පුම්බනු ලදුව ඔබේ එස්.එම්.එස් බලා සිටිනා තාරකාද නොවේ.

ආරංචිය ලැබුණේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයෙනි, තාරකාවන් 'පෝ(ර්)න් ස්ටාර්' හෙවත් අසභ්‍ය චිත්‍රපට වල රඟ පෑ නළු නිලියන්ය. මෙහිදී මෙම 'නලු නිලියන්' අතරින් කී දෙනෙක් සැබැවින්ම (පොලිසිය කියන පරිදි) නිල් චිත්‍රපටයක රඟපෑමේ අරමුණින්, ඒ සඳහා කැමත්තක් ඇතිව සහභාගී වී ඇත්තේ දැයි යන්න වෙනමම කාරණයකි. කෙසේ හෝ පසුගිය සඳුදා (නොවැම්බර් 7) පොලිසිය විසින් මෙලෙස අසභ්‍ය දර්ශන වල පෙනී සිටි ගැහැණු සහ පිරිමි 83න් දෙනෙකුගේ ඡායාරූප මාධ්‍ය ආයතන වලට නිකුත් කරන ලදී. ඉන් කිහිප දෙනෙකු මේ වන විටත් පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.

මෙම ගැහැණුන් සහ මිනිසුන් මෙසේ අසභ්‍ය දර්ශන වල පෙනී සිටීම සහ එම දර්ශන අන්තර්ජාලයේ සහ වෙනත් මාර්ග වලින් ව්‍යාප්ත වීම යහපත් දෙයක්යැයි කීමට නුපුලුවන. එමෙන්ම මෙම මිනිසුන් කලේ වරදක් නොවේ යැයිද කිව නොහැකිය. කෙසේ වෙතත් ප්‍රශ්නය ඇත්තේ මොවුන් මෙම දර්ශන වලට සම්බන්ධ වුයේ කෙසේද යන්නේ සහ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිලිබඳවය.

මින් බොහෝමයක් තරුණියන් නිල් චිත්‍රපටියක රඟපෑමේ අරමුණින් පෙනී නොසිටි බවට සැක නැත. බොහොමයක් දෙනා තම පෙම්වතා විශ්වාස කර මෙම ඉරණමට පත් වූවන්ය. එහෙයින් එවැනි සිද්ධීන් වලට මුල්වූ පුද්ගලයන් ගැන සොයා නොබලා කාන්තාවන් පමණක් වැරදි කරුවන් කිරීමද නොකල යුතු දෙයකි. තවත් සමහරක් දර්ශන අත්වැරදීම් වලින් පිට අය අතට පත්ව ව්‍යාප්ත වූ ඒවා විය හැක. එවැනි සිද්ධි ගැන අප මීට පෙර අසා ඇත්තෙමු. කෙසේ වෙතත් මින් සමහරෙක් වෘත්තීය ගණිකාවන් බවටද සැක නැත. මෙහිදී පොලිසියේ අරමුණ වුයේ අනාගත පරම්පරාව හා වර්තමාන තරුණ පරපුර රැක ගැනීම නම් එහි කිසිදු වරදක් නැත. මක්නිසාද යත්, පෙරකී පරිදි පෙම්වතා අතින් අසරණ වූ තරුණියන් මෙවැනි සිද්ධි පිලිබඳව දැනුවත්ව සිටියේ නම් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුද මෙවන් ඉරණමකට ගොදුරු නොවන්නට ඉඩ තිබූ බැවිනි.

කෙසේ වෙතත් මෙහිදී පොලිසියේ කාර්යයද මඳක් විමසා බැලිය යුතුය. මෙවැනි නිරුවත් දර්ශන වලට පෙනී සිටි සමහර ටෙලි නාට්‍ය නිලියන් සිටියදී පොලිසියට ඔවුන් මගහැරී තිබේ. ඉන් එක් තරුණ නිලියක් තමන් මෙවැනි වීඩියෝ පටයක නිරූපණය කරන බවද, එම වීඩියෝ පටය තමන්ගේ (පෙර) පෙම්වතෙකු විසින් රවටනු ලදුව ගන්නා ලද එකක් බවද මීට පෙර පිලිගෙන තිබුණි. එහෙත් ඇය හෝ වෙනත් නිලියක් අත් අඩංගුවට ගන්නා ලද බවක් හෝ උසාවියකට ඉදිරිපත් කර දඬුවම් නියම කරන ලද වගක් හෝ ආරංචි නැත. වෙනකක් තබා කටකතා මාර්ගයෙන් පැතිරුණා මිසක ඔවුන්ගේ නම් ගම්, ඡායරූප මාධ්‍යවල පලවූයේද නැත. එසේ මගහැරීමට හේතුව එම නිලියන් කිසිවෙකු විසින් හෝ රවටනු ලැබීම නම්, එම පදනමින් අනෙක් තරුණියන්ට සැලකීමට බැරිවූයේ ඇයිදැයි යන්න පැහැදිලි නැත.

සමහරවිටක මේ ක්‍රියාදාමය නිසාවෙන්, පෙම්වතා අතින් අසරණව සිටිනා (ස්ව කැමැත්තෙන් විඩියෝවලට පෙනී නොසිටි ) තරුණියකට ජීවිතය එපා වීමටද, මෙම පුද්ගලයින්ගේ පවුල් වල උදවියට පාරේ තොටේ ගමන් යාමටද බැරි තත්වයක් උදාවීමටද බැරි නැත. ලංකාවේ හැටි එහෙමය. වැරදි කරුවන් හැර අන්කිසිවෙක් පවු කර නැත. ඒ නිසා වැරදි කරුවන්ට එලව එලවා ගල් ගැසිය යුතුමය.

තවද මේ අතර ව්‍යාජ ලෙස (ඡායාරූප සංස්කරණ මෘදුකාංග භාවිතයෙන්) සකස් කල ඡායාරූපද නැතුවා වන්නට බැරිය. යම් හෙයකින් හෝ එවැනි නිදොස් අයෙකුගේ ඡායාරූපයක් පලව තිබුනහොත් ඔහුට හෝ ඇයට අත්විඳින්නට වන ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එනිසා මෙය දැඩි වගකීමකින් යුතුව කල යුතු කටයුත්තක් බැව් අවධාරනය කරමු. මෙහිදී ලැබුණු අවස්ථාවෙන් බොරදියේ මාලු බෑමට නොගිය මාධ්‍ය සම්බන්ධයෙන් සඳහන් කල යුතුමය. ලක්බිම පුවත් පතේ හැර අන් කිසිදු පුවත් පතක මෙම දර්ශන පල වුයේ නැත. එයට හේතුව ලෙස පුවත් පත් කතුවරුන් විසින් දන්වා සිටියේ පෞද්ගලිකත්වය පිලිබඳ සලකා බලා එම ඡායාරූප පල නොකරන බවය.

කෙසේ වෙතත් එම ඡායාරූප Gossip Lanka වෙබ් අඩවියෙහි පලව තිබුණි. එම ඡයාරූප සම්බන්ධයෙන් ලේඛකයාට මතුවන සැක කිහිපයකි.

  • මෙහි ඉන්දියානු හෝ වෙනත් රටක කාන්තාවන්ගේ පින්තූර අඩංගු නොවන්නේද?
  • අංක 2, 73, අංක 45, 46 සහ අංක 53, 54 ඡායාරූප එකම පුද්ගලයන්ගේ වීමට හැකියාවක් නොවන්නේද?
  • මෙම අසභ්‍ය අඩවි වල පෙනී සිටියේ කාන්තාවන් පමණක්ද? එසේනම් ඔවුන් ‘අහවල්’ කාර්යයෙහි යෙදුනේ කවුරුන් සමගද? පිරිමි ඡායාරූප අඩංගු වන්නේ 4ක් පමණි. මින් සමහරක් කාන්තවන් සමග සිටිනා පිරිමින්ගේ ද මුහුණු පැහැදිලිව දිස් වන ඡායරූප තිබෙනා බැව් ලේඛකයාට සහතිකය.

මෙයින් සමහරක් ඡායාරූප මීට කලකට ඉහතදී ගත් ඒවා බවක් පෙනෙන්නට තිබේ. ඒවා ප්‍රසිද්ධ කිරීමෙන් පලයක් ඇත්වේදැයි කීමට නොහැකිය. තවද පොලිසිය විසින් මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි සොයා ගෙන ඒවා තහනම් කිරීමටද කටයුතු කල බැව් පැවසේ. එයද එතරම් පලදායී කටයුත්තක් යැයි නොසිතෙන්නේ මීට  පෙරද මෙලෙස (IP address යොදාගෙන) තහනම් කල වෙබ් අඩවි වලටද පිවිසීමේ හැකියාවක් පවතින බැවිනි.

සටහන අවසාන කිරීමට පෙර මාලන් සමරවික්‍රම විසින් ලියන ලද මෙම සටහන කියවා බලන මෙන් ඉල්ලමි. සමහරවිට ඔබට මෙයට සමාන අත්දැකීමක් ලබන්නට සිදුවීමට ඉඩ ඇත.

Saturday, November 13, 2010

Open Context | විවෘත අදහස්

Context යන්නට දිය හැකි හොඳම සිංහල තේරුම "අදහස්" යන්න නෙවෙයි. ඒත්, "සන්දර්භය" හෝ "අන්වය" වැනි වදනකට වඩා සරලව, සුගමව භාවිත කල හැකි නිසයි "අදහස්" යන්න ඒ සඳහා යොදා ගත්තේ.

පලමුවෙන්ම මෙම බ්ලොග් එක ගැන කියනවනම්, මෙයට විශේෂ මාතෘකාවක් හෝ විෂය සීමාවක් නැහැ. සාමන්‍ය මිනිහෙක් ලෙසට මට හිතෙන ඕනෑම දෙයක් ඉදිරි පෝස්ට් එකක මාතෘකාව වෙන්න පුලුවන්. එතෙන්දි මාතෘකාව දේශපාලනික එකක්ද, නැත්නම් වෙනත් සමාජයීය ප්‍රශ්නයකට අදාලයිද කියන එක වැදගත් නැහැ. එකම දෙය, මම බ්ලොග්කරුවෙක් හැටියට කියන දෙය ඔබට ග්‍රහණය වෙනවද කියන එක විතරයි. ඔබට මම කියනදේ ගැන වෙනස් අදහසක් තිබෙන්න පුලුවන්. සමහරවිට ඔබ නිවැරදි වෙන්නටත් මම වැරදි වෙන්නටත් පුලුවන්. එතෙන්දි කරුණාකරල වැරදි පෙන්වලා දෙන්න. ඒක මම ගොඩක් අගය කරලා සලකනවා.

අන්වර්ථ නාමයක් භාවිත කරමින් අනන්‍යතාවය වසන් කරගෙන සිටීම ගැනත් යමක් කියන්න තිබෙනවා. ඒකට එක හේතුවක් තමයි මගේ පෞද්ගලික කාරණා සමඟ මෙම බ්ලොග් අඩවියේ ඇති කාරණා හෝ අදහස් පටලවා ගැනීම වැලැක්වීම. ඒ ගැන විස්තර කලොත්, මා පෞද්ගලිකව දන්න අයෙක් හෝ මගේ මිතුරෙක් මෙම බ්ලොග් අඩවිය බලද්දි ඔවුන් මා ගැන ඔවුන් තුල තිබෙනා ප්‍රතිරූපය (යහපත් හෝ අයහපත්) ඔලුවේ තියාගෙන බැලුවොත් ඒක එතරම් හොඳ දෙයක් හෝ පලදායක දෙයක් නෙවෙයි. එහෙම කියන්න හේතු වුනේ, මා කැමති ඔබ මා මගේ ලිපි (post) අනුව හඳුනාගනු ලබනු දැකීමට වන නිසයි. 

වසන්ව සිටීමට තවත් හේතුවක් තිබෙනවා. එකතරා ආකරයකින් අන්වර්ථ නාමයක් භාවිතා කිරිම බ්ලොග්කරණයේදි නිදහසක් කියල හඳුන්වන්න පුලුවන්. මොකද එතෙන්දි සාමන්‍යයෙන් අපිට විවෘතව කතාබහ කල නොහැකි දේවල් පවා සාකච්ඡාවට ගැනීමේ හැකියාව ලැබෙනවා. තාක්ෂණික අතින් කොතරම් දියුණු වුවත් තවමත් අපේ සමාජයේ 'තහනම්' හෝ ප්‍රසිදිධියේ කතා නොකල යුතුයැයි සැලකෙන මාතෘකා තිබීම එයට හේතුව ලෙස දක්වන්න පුලුවන්. මෙතෙන්දි අදහස් කරන්නේ අන්වර්ථව හිඳිමින් 'අමු කුණුහරුප' කියන්නට යනවා යැයි වරදවා වටහා ගන්නට එපා. එහෙත් කිසියම් විවාදාත්මක මාතෘකාවක්/මාතෘකාවන් ගැන ලිවීමෙන් පසු "අර බ්ලොග් එක ලිව්වේ අරූ.." සහ "අපෝ, මිනිහා එහෙම එකෙක්ද ?" යනුවෙන් අසන්නට ලැබීමෙන් වෙන හිරිහැර නවත්වා ගැනීමට අන්වර්ථ නාමයක් භාවිතා කිරීම වැදගත් වෙනවා. කෙනෙක් ඇඟිල්ල දිගු කරලා යමක් පෙන්වද්දි, ඒ පෙන්වන දෙය දිහා නොව ඇඟිල්ල අයත් පුද්ගලයා දිහා බලන්නට පුරුදු වී සිටින සමාජයක එය නොවැලැක්විය හැකි දෙයක්.

ඉදිරියේදී පාඨක ප්‍රතිචාර කොහොම වේද කියන්න දන්නේ නැහැ. නමුත් ප්‍රශංසා වගේම විවේචන, අදහස් උදහස් සියල්ලම සතුටින් භාරගන්නවා. බ්ලොග් කරණයට පිවිසීමෙන් ඉටු කරගන්න කියලා ලොකු බලාපොරොත්තු නැහැ. ඔබට යමක් දෙන්නට පුලුවන් කම ලැබුනොත් එය හොඳටම ප්‍රමාණවත්. මගේ බ්ලොග්කරණය ගැන ඔබේ අදහස්, යෝජනා වගේම චෝදනා තියෙනවනම්, මගේ ඊමේල් ලිපිනය ඒ සඳහා භාවිතා කරන්න. firebug9999@gmail.com