Monday, November 15, 2010

If Mervin was there in the Dutugemunu era | මර්වින් සිල්වා දුටුගැමුණු යුගයේ සිටියානම්...




වැඩක් නැතුව නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට නිකන් කල්පනා කර කර ඉන්න ගියාම මිනිස්සුන්ට එක එක දේවල් හිතෙනවා. සමහරු දවල් හීන දකිනව, සමහරු තමන්ගේ අතීතය ගැන තමන්ට වෙච්ච රසවත් සිද්ධි ගැන මතක් කරනව. ඔය අතරේ සමහරුන්ට එක එක විකාර සිතුවිලිත් පහල වෙනවා. හරියට "ඒ දේවල් එහෙම වුණේ නැතුව මෙහෙම වුණ නම් කොහොමද" වගේ දේවල්. මේ තියෙන්නෙ මට එහෙම හිතුනු දේවල් කීපයක්. 

මර්වින් සිල්වා දුටුගැමුණු රජතුමාගේ  යුගයේ සිටියානම්...
ආයිත් අහන්න දෙයක් නෑ, මර්වින් සිල්වා මහත්තයාට රාජ සභාවේ වැදගත්ම ඇමතිධුරයක් හිමි වෙනවා සිකුරුයි. මොකද ඉතින් සීයා මුණුපුරාට සලකන්නේ නැතුව වෙන කාට සලකන්නද? අද වගේ නෙවෙයි ඒ කාලේ තමන්ගේ පවුලේ උදවියට සලකන එක, ඉහල තනතුරු තානාන්තර දීල ඥාති සංග්‍රහ පවත්වන එක ඒ කාලේ ලංකාවේ ප්‍රභූන අතර තිබුණු සිරිතක්. ඉතින් මර්වින් සිල්වා ඇමති කෙනෙක් වෙන එක අහන්නත් දෙයක් නෑ. මට නම් හිතෙන්නේ මර්වින් සිල්වා ඇමතිතුමාට දුටුගැමුණු රාජ සභාවේ වාණිජ ඇමති ධූරය හරි රාජ්‍ය භාණ්ඩාගාරය භාර ඇමති තනතුර හරි ලැබෙන්න තිබුණා. මොකද ඥාතියා හින්ඳා විශ්වාසවන්තයි, ඒක එකක්. දෙවෙනි කාරණේ යුද්ධෙ ඉවර වෙලා ඔය රුවන්වැලි සෑය එහෙම හදන කාලේ දුටුගැමුණු රජතුමාට හරියට වියදම් නේ. ඉතින් ඒ වගේ කාලේක මර්වින් සිල්වා භාන්ඩාගාරික ඇමති වුණොත් රජතුමාට ඒකෙ වාසියකුත් තියෙනවා. මොකද (අද කාලේ වගේම) ඒ කාලෙත් වෙලෙන්දෝ , සිටුවරු එහෙම කැමත්තෙන්ම ඇවිල්ල මාසෙකට සැරයක් රාජ්‍ය භාණ්ඩාගාරෙට (හරි මර්වින් සිල්වාට හරි) කහවණු ගණන් දීල යන්න තිබුණා.

දුටුගැමුණු රජතුමාගේ සේනාවේ මර්වින් සිල්වා ඇමතිතුමා හිටියා නම්...
කලින් මට හිතුනේ මර්වින් ඇමතිතුමා දුටුගැමුණු රාජසභාවේ හිටියනම් වෙන දේවල්. පස්සෙ හිතුනා ඇයි රාජසභාවේ විතරක්. මර්වින් ඇමතිතුමාට දුටුගැමුණු රජතුමාගේ සේනාවේ සෙනෙවි කම දීලා යුද්දෙට යන්නත්  තිබුණනේ. එහෙම වුණානම් දුටුගැමුණු රජතුමා විජිතපුර බලකොටුව අල්ලන්න එන ආරංචියට (ඇත්තටම කිව්වොත් මර්වින් සිල්වා එන ආරංචියට) එළාර රජතුමා තමන් විහින්ම කණුවක ගැට ගහ ගන්න ඉඩ තිබුණා. (තනියම බැරි නම් තමන්ගේ පුරෝහිතගේ හරි සහය ගන්න තිබුනණේ, ඕවා තනියම කරගන්න පුලුවන්ද බැරිද කියල හිතන්න ඕනේ නෑ) එහෙම කරලා පුස් කොල පොතක හරි සෙල් ලිපියක හරි ලියන්න ඉඩ තිබුණා, මම මෙහෙම කරේ දුටුගැමුණු රජතුමාට (ඇත්තටම මර්වින් සිල්වට) බයේ නෙවෙයි මට එහෙම කරගන්න ඕනේ කියලා හිතුන හින්දා කියලා.

2004 මහමැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනුවානම්...
එහෙනම් සටන් විරාමය දිගටම තියෙන්න ඉඩ තිබුණා. සටන් විරාමය ප්‍රයෝජනයට අරන් කොටි සාම ගීත ගයන්න ඉඩ තිබුණා. අපරාදේ සාම සාකච්ඡා වලට ස්විර්සර්ලන්තයේ ගියපු අතරවාරයේ ලස්සන චිත්‍රපට ගීත ජවනිකා දෙක තුනකුත් රූපගත කරන්න තිබුණා. ප්‍රභාකරන් මල්වත්තක නට නටා එනවා (සින්දුවකුත් කියන ගමන්) රනිල් මහත්තයා එකපාරටම මල් පඳුරක් පිටිපස්සේ හැංඟිලා ඉඳලා එලියට පනිනවා. එතනින් පස්සේ දෙන්නම සින්දුව කිය කිය නටනවා. (මේක අනිත් පැත්තට වුණත් අවුලක් නෑ. රනිල් සිංදු කියකිය එද්දි ප්‍රභාකරන් පැන්නත් ප්‍රශ්ණයක් නෑ. අයියයි මල්ලියි වගේනේ). සිංදුවේ ඊලඟ රූපරාමුව විදියට රනිලුයි ප්‍රභාකරනුයි ඩබල් ඩෙකර් බස් එකක (උඩ තට්ටුවේ වහල නැති. ඒ වගේ බස් දැකලා ඇතිනේ, ඔය "Colombo city tour" ද කොහෙද කියල එකකුත් මේ දවස් වල යන්නේ) නැඟලා සිංඳුව කිය කිය යනවා දාන්න තිබුණා. රවී, ජයලත්, තිස්ස අත්තනායක, ඇන්ටන් බාලසිංහම්, සුසෙයි, තමිල් සෙල්වන් කට්ටියටත් සහය ගායනය දෙන ගමන් නටන්න තිබුණා.

සටන් විරාමය දිගටම තිබුණා නම්...
එහෙනම් කොටිය පූස් පැටියෙක් වෙන හැටි බලන්න තිබුණා. (පරිණාම වාදය අනිත් පැත්තට ගමන් කිරීම) එහෙම වුණා නම් යුද්ධෙ ඉවර කරලා මහින්ද රාජපක්ෂටයි, ගෝඨාභය රාජපක්ෂටයි වීරයො වෙන්න ලැබෙන්නෙත් නෑ. අපරාදේ වැරදිලා හරි එහෙම වුණා නම් රනිල් මහත්තයට JVP කොල්ලොත් එක්ක එකට ජනාධිපතිවරණ කරන්න වෙන්නෙත් නෑ. වෙන කවුරු එක්ක ඡන්ද කරත් JVP කාරයොත් එක්ක ඡන්ද කරන්න පුලුවන්ද? ඇරත් රනිල් මහත්තය වගේ කෙනෙකුට? ඔන්න චන්ද්‍රිකා වගේ වුණානම් කමක් නෑ. ආ.. තව එකක්, සටන් විරාමේ දිගටම තිබුණා නම් අද "සරත් ෆොන්සේකා නිදහස් කරව්" කියලා කෑ ගහ ගහ උද්ඝෝෂණය කරන්න වෙන්නෙත් නැහැ. ඔය සරත් ෆොන්සේකා නිදහස් කරන්න, ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා කියල රනිල් මහත්තය ඉඳලා හිටලා කිව්වත්, ඒ හිතකින් කියන දේවල් නෙවෙයිලුනේ (අනේ මම නම් ඕවයෙ ඇත්ත නැත්ත දන්නේ නෑ) වැරදිලාවත් සරත් ෆොන්සේකා නිදහස් වෙලා විපක්ෂනායක කමවත් ඉල්ලුවොත් කියලා හිතෙනවා ඇති.

සටන් විරාමය අතරෙදි කොටියා පොඩ්ඩක් හරි "නෝටි" වෙලා සාම සාකච්ඡා වලින් අයින් වෙන්න හැදුවානම්...
එහෙනම් ජාත්‍යන්තර බලවේග රනිල් මහත්තයගේ උදව්වට දුවගෙන එනවා බලන්න තිබුණා. හරියට සුපර් මෑනුයි, බැට් මෑනුයි ස්පයිඩර් මෑනුයි සේරම එකට ආවා වගේ.. ඊට පස්සේ සේරම ජාත්‍යන්තර බලවේග එකතුවෙලා කොටින්ට ගහන හැටි බලාගන්න තිබුණා. මල්ටි බැරල්, කාල තුවක්කු සහ කුරුම්බැට්ටි මැෂින් නෙවෙයි, නියම face-to-face ෆයිට් එකක් බලා ගන්න පුලුවන්. අර දකුණු ඉන්දියානු චිත්‍රපට වල වගේ, කොටියට මුලතිව් වලදි ගැහුවම උඩින් විසි වෙලා ගිහිල්ල කිලිනොච්චියේ පෙට්ටි කඩේක වහල කඩාගෙන බිමට වැටෙන්නේ.. අන්න ඒ වගේ. නැත්නම්, කොටියා පෙනේරයක් වගේ වෙනකන් වෙඩි තියලා, කුඩු කරලා, ප්‍රිමා කොම්පැණියේ මෝලට දාලා පිටි කරලා ගන්න හැටි බලන්න තිබුණා. ඒ කොහොම වෙතත් ජාත්‍යන්තර බලවේග එනකන් රනිල් මහත්තය නිකන් බලන් ඉඳියි කියල හිතුවද? අනික කොහොමත් ජාත්‍ය්න්තර බල්වේග හිටියේ කොටින්ට පැනල යන්න බැරි වෙන්න දැල් දාන්නනේ. ගහන ටික රනිල් මහත්තයටම බලාගන්න තිබුණා. අර එක පාරක් හට්ටි, මුට්ටි වගයක් පොලවේ ගැහුවා වගේ ප්‍රභාකරන්වත් අල්ලලා පොලවේ ගහන හැටි සොල්හයිම්ටත් ඇවිල්ල බලාගෙන ඉඳලා යන්න තමයි වෙන්නේ.

පෘතුගීසි ලංකාවට එනකාලේ විමල් වීරවංශ ඇමතිතුමා හිටියා නම්...
එහෙනම්, "මේක ඇමරිකාව ගෙන යන ගෝලීය අධිරාජ්‍යවාදයේ තවත් එක් පියවරක්" කියලා විමල් වීරවංශ මැතිතුමා කෝට්ටේ රාජ සභාවෙදි කියන එක කියනවා ආයිත් දෙකක් නෑ. (ඒ කාලේ ඇමරිකාව තිබුණද නැද්ද කියල මෙතනට අදාල නෑ). තව, "මේ පෘතුගාලය කියන ඇමරිකන් බළල් අතේ, ලොරෙන්සෝ ද අල්මේදා කියන අධිරාජ්‍යවාදී සුදු ඒජන්තවරයා ලංකාවේ ස්වෛරීත්වයට එල්ල කරන බලපෑම" ට විරෝධය දක්වන්න කොළඹ පෘතුගීසි බලකොටුව ඉස්සරහා මාරාන්තික උපවාසයක් පවත්වන්න ඉඩ තිබුණා. අටවැනි පරාක්‍රමභාහු රජතුමා ඇවිත් වතුර එක පොවනකන්, ලෙමන් පෆ් (වැරදුනා කැවුම් හරි අග්ගලා හරි) කකා උපවාස කරනවා මම අහන්නේ හිතක් පපුවක් තියෙන පෘතුගීසි කාරෙයෙකුටවත් බලන් ඉන්න පුලුවන්ද? කවුද දන්නේ? සමහරවිට ඒ උපවාසෙට බය වෙලා පෘතුගීසි කාරයෝ ලංකාවෙන් යන්නත් ඉඩ තිබුණා. එහෙනම් ලංකාවේ ඉතිහාසෙම වෙනස් කරපු වීරයෙක් හැටියට විමල් වීරවංශ ඇමතිතුමාගෙ නම ඉතිහාස පොතේ රන් අකුරින් සටහන් වෙනවා. ඔන්න දැන් කියන්න එපා එතුමා වීරයෙක් නෙවෙයි කියලා මම කිව්ව කියලා. එතුමා කොහොමත් විරයෙක් තමයි. නැතුව සුලුපටු කෙනෙකුට පුලුවන්ද (ඇමතිකමත් එපා කියන ගමන්) දවස් ගාණක් නොකා නොබී ඉන්න? අපෝ මට නම් බෑ. ඒක හින්දා මටනම් එතුමා සැබෑ වීරයෙක්.

ඇමරිකාවෙන් හඳට ගියේ මේ කාලේ වුණානම්...
”මෙය එක් මිනිසෙකුගේ කුඩා පියවරක් නෙවෙයි, ඇමරිකාවත් ලංකාවත් අතර වර්ධනය කරගත් විදේශ සම්බන්ධතා වල ජයග්‍රහණයක්” කියලා බැරක් ඔබාමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සුභ පැතුම් පණිවිඩයක් එවන්න ඉඩ තිබුණා. "ජනාධිපති මහින්ද දැක්වූ සහයෝගය නොවන්නට ඇමරිකාවට මෙවන් ජයග්‍රහණයක් ලබන්නට හැකියාවක් නැතැයි ජනතාවෝ අවධාරණය කරති" කියලා ITN ප්‍රවෘත්ති වලට කියනවා සහතිකයි. ඒ විතරක් නෙවෙයි ප්‍රවෘත්ති වලින් පස්සේ මහින්ද අබේසුන්දරත් ඒ කතාවම කියයි. "ඇමරිකාව කලේ බොරුවක්, හඳපානාගලට ගිහිල්ල හඳට ගියා කියලා කියනවා" කියලා රවී කරුණානයක මන්ත්‍රී තුමා කියන්නත් බැරිකමක් නෑ. "මේක ලංකාවේ බඩු මිල වැඩි වෙන එක ජනතාවට අමතක කරවන්න ආණ්ඩුවෙන් ඇමරිකන් රජයට සල්ලි ගෙවලා කරවපු වැඩක්, දැන් ජනතාව බුද්ධිමත්. ආණ්ඩුවේ මේ උපායන් වලට රැවටෙන්නේ නැහැ" කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රී තුමා කියන්න ඉඩ  තිබුනා.

දයාසිරි ජයසේකර මෙගා ස්ටාර් වුණානම්...
එහෙනම් පබා ආපහු විපක්ෂයට එන්න ඉඩ තිබුණා. වෙන මොකවත් හින්දා නෙවෙයි, දැන් ආණ්ඩුවට මෙගා ස්ටාර් කෙනෙක්වත් පත් කරගන්න බෑ කියලා තෙරුම් ගත්තු හින්දා. මර්වින් සිල්වා වේදිකාවට ඇවිත් දයාසිරිව බදාගෙන "ඔයා මගේ සහෝදරයෙක් වගේ, හැබෑටම පුංචි කාලේ නැතිවුණු මගේ නිවුන් සහෝදරයද දන්නෙ නෑ.. ඔයාට යන්තම් හරි මතකද ඒ කාලෙ පබාගෙන් කු## බිව්ව බවක් එහෙම? මොකද ඔයා මගේ නිවුන් සහෝදරයනම් ඒ බව මතක තියෙන්නෙ ඕනේ" කියලා කියන්න ඉඩ තිබුණා. ඔය අතරේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා දුරකථනයෙන් කථා කරලා දයාසිරිට සුභ පතලා "දයාසිරි, දැන් රටට වගේම පක්ෂයට අවශ්‍ය කරන්නේ ජනප්‍රිය තරුණ නායකත්වයක්, ඒක හින්දා ඔයා හෙට ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගන්න, ප්ලීස්" කියලා කියන්න ඉඩ තිබුණා.